Loading...
Terravision : ඩොලර් බිලියනයේ ප්‍රශ්නය

කාලගුණ දත්ත විශ්ලේෂණ ඉදිරිපත් කිරීම් වලදි  ඔබ අනිවාර්යෙන්ම දැකල තියෙන දෙයක් තමා ත්‍රිමාණකරණය කරන ලද පෘතුවියක්. මෙහෙදී අප අවට තියෙන කදු, ගංගා, වනාන්තර වගේම ඉහළ අහසේ වලාකුලු පවා දැකගන්න හැකි ලෙස නිර්මාණය කරන ලද මේ නිර්මාණ දුටු සැනින් ඔබට මතක් වෙන්නෙ Google ආයතන මගින් නිර්මාණය කරන ලද Google Earth මෘදුකාංගයයි. කාලගුණ විශ්ලේෂණයකට පමණන් නොව මේ වන විට නගර නිර්මාණය, ගෘහ නිර්මාණය, යුද කටයුතු ආදී විශයන්වලට පමණක් නොව අප විසින් සැලසුම් කරන විනෝද ගමනකට වුවත් සැබවින්ම ප්‍රයෝජනවත් වන මේ Google Earth මෘදුකාංගයේ ආරම්භය සනිටුහන් වෙන්නෙ ජර්මනියෙන්. 

1993 දී ජර්මන්‍ ජාතික විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙක් වන Jachim Sauter සහ Juri Muller විසින් පරීකෂණ මෘදුකාංගයක් ලෙස ART+COM Berlin හරහා එලිදක්වන Terravision තමා මේ Google Earth වල ආරම්භය. මේ මෘදුකාංගය මගින් එහි පරිශීලකයන්ට ත්‍රිමාණ ලෝක ගෝලයක් මගින් සම්පූර්ණ පෘතුවියම නිරීක්ෂණය කිරීමට හැකියාව ලබාදී තිබුනා. පරීක්ෂණ ගණනාවකට පසුව නවතම Hardware උපකරණයක් මෙම software එක හැසිරවීම සදහාම නිර්මාණය කරන්නේ Mouse එකක් මගින් මේ කාර්‍ය සිදු කිරීම Terravision පරිශීලකයාට සෑහෙන අපහසුවක් වෙන නිසාවෙනුයි. ඔවුන්ට Terravision  නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් Deutsche Post නැමති සමාගමද ඔවුන්ගේ දායකත්වය ලබාදී තිබුණා.

1993 වර්ෂය වැනි කාලයක මෘදුකාංග ක්ෂේත්‍රය තුල පෙරලියක් ඇති කරන ලද නිර්මාණයක් වන්නේ මේ සදහා ඔවුන් විසින් යොදාගන්න ලද ක්‍රමවේදයයි (Algorithm). ඔවුන් විසින් නිර්මාණය කරන ලද ක්‍රමවේදය (Algorithm) මගින් අඩු වියදමකින් සහ අඩු පරිගණක හැකියාවකින් ත්‍රිමාණ ලෝකයක් නිර්මාණය කර එය පහසුවෙන් හැසිරවීමට භාවිතා කරුවන්ට හැකිවිය. අනිවාර්‍යෙන්ම ඔබ මේ වනවිටත් දන්නවා ත්‍රිමාණකරණය කරන ලද චිත්‍රපට සදහා වැඩිම මුදලක් සහ කාලයක් වැය වෙන්නෙ ඒවාගෙ ඇති සජීවී චලන Render කිරීම සදහා බව.

වර්තමානයේද තත්වය එසේම වන විට මොවුන් 1993 දී කරන ලද මේ නිර්මාණය සැබැවින් විශ්මය ජනක නිර්මාණයක් බව නිසැකයි. Terravision මගින් පරිශීලකයාට සෙන්ටිමීටර් කිහිපයක් වන තෙක් ලැබෙන ත්‍රිමාණ ආකෘතිය විශාලනය කිරීමට හැකි වුනේ ඒ සදහා අවශ්‍ය දත්ත Network හරහා ලබාගන්නා අතරමයි. සාමාන්‍ය පරිගණකයක වුවත් ක්‍රියාත්මක වූ මෙම මෘදුකාංගය තුල තිබූ තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ ඉතාමත් පහසුවෙන් කාලගුණය, භූගෝලීය දේශපාලනය, සමාජ තත්ව වැනි දත්ත ඒවා සිදුවන අවස්තාවේදීම කිසිදු පමාවකින් තොරව එකතු කිරීමට හැකි වීමයි. මේ නිසාම මෙම මෘදුකාංගයට සහ ඔවුන්ගේ නව දෘඩාංගයන්ට ඉතාමත් ඉහල ප්‍රතිචාර ලැබෙන්න පටන් ගන්නවා. 

මේ ලැබෙන ප්‍රතිචාර සමග Terravision මෘදුකාංගය ලොව වටා පරිශීලකයන්ටද භාවිතා කිරීමට අවකාශය සැලස්වීමට ඔවුන් තීරණය කරනු ලබනවා. වර්තමානයේ මෙන් සන්නිවේදනය සදහා පහසු ක්‍රම නොතිබූ බැවින් ඔවුන්ට මේ සදහා තමන්ගෙ නිර්මාණය සමග ලෝකය පුරාම ගමන් කිරීමට සිදුවනවා. මෙලෙස ලොව වටා යන ගමනේ එක් ගමනාන්තයක් වූ Silicon Valley වල තිබූ ප්‍රදර්ශනයයකදී ඔවුන්ට Brian McClendon නැමති පුද්ගලයා හමුවනවා. මේ හමුවීම ඔවුන්ගේ සහ Terravision වල අනාගතය සම්පූර්ණ වෙනසකට බදුන් කරනවා. 

ඇමරිකානු ජාතික Software Engineer කෙනෙකු වන Brian McClendon සමග ඔවුන් ඇතිකරගන්නා එකගතාවක් මත Juri Muller විසින් Terravision හි සියලුම දත්ත සහ ක්‍රමවේදයන් හුවමාරු කරගනු ලබන්නේ අනාගතයේදී මේ නිර්මාණය තවත් ඉහල හැකියාවන්ගෙන් යුතු සංස්කරණයක් ලෙස නිකුත් කිරීමේ අරමුණ ඇතිවයි.

නමුත් ඉන් පසු සිදුවන්නේ Brian විසින් Terravision දියුණු කිරීම වෙනුවට ඔහු විසින් Google සමාගමට  Google Eearth නිර්මාණය කිරීම සදහා උදව් ලබාදීමයි. Silicon Graphics හි Software Engineer කෙනෙකු ලෙස වසර 8ක් සේවය කර තිබූ Brian ඔහුගේ හැකියාවන් සමග Juri Muller ගේ අදහස් සහ ක්‍රියාවලියට තවත් අලුත් නිර්මාණ රාශියක් එකතු කරමින් කරමින් වැඩි දියුණු කරනු ලැබූ Google Earth ඉතාමත් ඉක්මනින් භාවිතා කරුවන් අතර ප්‍රචලිත වන්නෙ අන්තර්ජාලය විසින් ඒ වනවිට ලබාගෙන තිබූ දියුණුවත් සමගයි.

Brian ගේ ආයෝජන දායකත්වයද සහිතව 2001 වසරේදී Keyhole, Inc නමින් ආරම්භ කල භූවිද්‍යාවට සම්බන්ධ මෘදුකාංග නිර්මාණය වෙනුවෙන් පිහිටුවා ගත් ආයතනයද, 2004 වසරේදී Google ආයතනය විසින් මිලදී ගනු ලබන්නේ ඔහුගේ නිර්මාණ දායකත්වය නිසාමයි. 

කෙසේ නමුත් 2001 වසරේදී සිදුවූ මෙම සිදුවීම 1995 වසරේදී  Terravision විසින් ලබාගෙන තිබූ patent බලපත්‍රය උල්ලංඝනය කර ඇති බව සදහන් කරමින් 2014 වසරේදී ඔවුන් විසින් Google සමාගමට විරුද්ධව නඩුවක් ගොනු කරන්නෙ තමන්ට සිදුවී ඇති අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් ඉටු කරගැනීමේ බලාපොරොත්තුව ඇතුවයි. මේ සදහා සියලු කරුණු දැක්වීම් 2016 වසරේ අවසන් වන්නේ වසර 2කක කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයක් අවසන් කරමිනුයි. සියලු කරුණු සලකා බැලූ ජූරිය ප්‍රකාශ කරන්නෙ මේ සිදුවීමේදී Google ආයතනය විසින් කිසිදු Patent බලපත්‍රයක් උල්ලංඝනය කල නොමැති බවයි. 

මේ තීරණය සැබැවින්ම බුද්ධිමයදේපල බලපත්‍ර ගැන උනන්දු සියලුදෙනා තුලම විමතියක් ඇති කරේ බැලූ බැල්මට මෙය අසාධාරණයක් ලෙස පෙනුන නිසාවෙනුයි. නමුත් U.S. Patent No. RE44,550 යන ART+COM ආයතනය සතු පේටන් බලපත්‍ර මගින් ඔවුන් ඉල්ලා සිටි අයිතිවාසිකම් නිසියාකාරව ඉදිරිපත් කර නොමැති වීම නිසාවෙන් දෙනු ලැබූ මෙම තීරණය කිසිදු දෝශයක් නොමැති බව Federal Circuit මගින්ද 2017 දී සනාත කරනු ලබනවා.

මෙහිදී අධිකරණය මගින් අවධාරණය කරන්නේ සංකල්පයක් ඉදිරිපත් කල පමණින් එහි බුද්ධිමය දේපල අයිතිය හිමි නොවන බවයි. මෙම සිදුවීම සැබැවින්ම නව නිර්මාණ කරුවන් විසින් සැලකිල්ලට ගත යුතු සිදුවීමක් වන්නෙ නිර්මාණයට අවශ්‍ය නිසි ආරක්ශාව ලැබිය යුතු නිසාවෙන්ම මෙන්ම නව නිර්මාණ කිරීමට ඇති අනවශ්‍ය බාධක වෙනුවෙන්ද වැට බැදිය යුතු නිසාවෙනුයි.

කෙසේ නමුත් Terravision මෘදුකාංගය සැබැවින්ම මනුෂ්‍ය ප්‍රජාව තුල සෑහෙන වෙනසක් ඇති කිරීමට මුල් වූ නිර්මාණයක් බවට කිසිදු විවාදයක් නැත. නිර්මාණයේ අයිතිය මේ වන විට කවුරුන් සතුව පැවතියත් 1993 වැනි, අද මෙන් දියුණු තාක්ෂණයක් නොමැති අතීතයේදී එවකට තිබූ තාක්ෂණික හැකියාවන් උපරිමයට ප්‍රයෝජනයට ගනිමින් Terravision නිර්මාණය කල Jachim Sauter සහ Juri Muller නිසාවෙන් මේ වනවිට ලොව පුරා මිලියනගණනක භාවිතා කරුවන් එහි  පල නෙලා ගනිමින් සිටී.

මෙය සැබැවින්ම ඩොලර් බිලියන ගණනාවක් වටිනා විසදුමක් වන්නේ එහි ඇති භාවිතාවන් අතිවිශාල නිසාවෙන් මෙන්ම ක්ශේත්‍ර ගණානාවකට අතිශය විශාල මුදලක් සහ කාලයක් ඉතුරු කරදී ඉතාමත් නිරවද්‍ර්‍ය ප්‍රතිපල ලබාදෙන නිසාවෙන්මයි. 2022 දී Netflix ආයතනය විතින් රූපවාහිනී කතාමාලවක් ලෙස මෙම සිදුවීම එලිදක්වන විට ඔවුනුත් මේ සදහා නම් තබන්නේ The Billion Dolar Code ලෙසයි.