ආයුබෝවන්!

ඉතිං වෙනදා වගේම මම අදත් අලුත් Blog එකකින් ඔයාලට කියලා දෙන්න යන්නේ මම වගේම ඔයාලත් ආසකරන Landscape Photography වලට වැදගත් වන කරුණු කිහිපයක්. Landscape Photography කියන්නේ අපි හැමෝම ආසකරන දෙයක්, එකේ කිසිම විවාදයක් නැහැ. Trip එකක් ගිහාම ලස්සන තැනක් දැක්කම අපේ ඇහැ නවතින්නේ ඉබේටම වගේ. ඉතිං කැමරාවක් තියෙන අපි කවුරුත් ආසයි ඒ මොහොත අපේ කැමරාවෙන් හසුකරගන්න. එත් ඒක ආවට ගියාට කරන්න බැහැ, ඉතිං මේක හරියට කරගන්න වැදගත් වෙන පුංචි කරුණු ටිකක් තමයි මම අද කියලා දෙන්නේ.

මම මේ ලියන කරුණු ගොඩක් ලියන්නේ මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් සහ මම තනියම ඉගෙනගත්තු දේවල්. පොත් පත් වලට වඩා මම ගොඩක්ම කලේ මගේ කැමරාවෙන් වැඩගත්තු එක තමයි. ඉතිං මේ කියන දේවල් වල යම් දෝෂයක් තියෙනවා ඔයාලට පුළුවන් පහලින් ඒවා මට පෙන්වලා දෙන්න. ඒ වගේම මම මතක් කරන්න ඕන දෙයක් තමා මේ ලියන කිසිම අකුරකින් මට කිසිම මුල්‍යමය ආධාරයක් නැහැ. මම ඉගෙන ගන්නකොට මට ගොඩක් පහසු උනා කරුණු කාරණා පැහැදිලි කරගන්න, ඒ නිසා තමයි මම හිතුවේ අලුතින් එන කෙනෙකුට අත්වැලක් වෙන්න මේ දේවල් කියලා දෙන්න.

එහෙනං වැඩි කථා නැතුව මම මාතෘකාවට බහින්නම්.

1. අවස්ථාව සහ ස්ථානය

අපි ගොඩක් වෙලාවට මේ දෙක මගහැර ගන්නවා. අපි දන්නේ නැහැ අපි ඇයි පින්තුරය ගන්නේ කියලා. ඇත්තටම අපි කරන්න ඕන සැලසුමක් ඇතුව අවස්ථාව සහ ස්ථානය තෝරාගැනීමයි. උදාහරණයකට අපි යන්නේ Sunrise/sunset එකකට වගේ නම් අපි යන ස්ථානය මේ අවස්ථාවට මොන වගේ උපකාරයක් වෙයිද කියලා. මම ගිය අවුරුද්දේ ලංකාවට ආපු වෙලාවේ මට උවමනාව තිබුනා වනාන්තරයක් මැද්දෙන් මීදුම වැටිලා තියෙන හැටි ෆොටෝ එකකට ගන්න, ඉතින් මම කලේ කලින් හපුතලේ ගිය / ඒ අවට වෙසෙන අයගෙන් විස්තර ගත්තු එකයි. ඊට පස්සේ මම Weather එක බලලා අනුමාන දවසක් බලල හපුතලේ ගියා. පහලින් තියෙන්නේ මම ගිහිං ගත්තු ෆොටෝ එක.

2.  වෙලාව 

අවාසනාවකට අපි අතර ඉන්න බහුතරයක් ෆොටෝ ගන්නේ අවේලාවේ. පුද්ගලිකව මම උදේ 10 ත් හවස 4ත් අතර කාලය ෆොටෝ ගන්න හොද වෙලාවක් කියලා අනුමත කරන්නේ නැහැ. නමුත් මෙය විශේෂ කාලගුණ තත්ත්ව වලදී ඉවතට දාන්න පුළුවන් නමුත් සාමාන්‍ය දවසකදී නම් මම කොහොමවත් ෆොටෝගන්න යන්නේ නැහැ ඉහත සඳහන් කල කාල පරාසය අතරතුර. ෆොටෝ එකකින් අපි කරන්නේ ආලෝකය හැසිරවීම, ඒක තමා අපේ ප්‍රධාන අරමුණ. ඉතින් දවල් වෙනකොට තියෙන්නේ ඉර අපේ හිසට උඩින්, ඒ නිසා ආලෝකය පමණට වැඩියි පින්තුරයක ලස්සන මේ වෙලාවේදී අපිට විදින්න බැහැ. ඒ නිසා ෆොටෝ ගන්න කොට හැම වෙලාවෙම දවල් කාලය මග හරින්න.

මේකටම අදාළ තවත් කාරණයක් තමයි ෆොටෝ ගන්න යන තැන වසරේ මොන කාලයේදීද වැඩියෙන්ම ලස්සන කියලා හොයලා බලන එක. ලංකවේ නම් අපිට ගොඩක් මේ Season වල වෙනස දැනෙන්නේ නැහැ, මොකද අපි ඉන්නේ සමකාසන්නයේ නිසා. නමුත් නුවර වගේ රටේ උස් ස්ථාන වලට සහ මුහුද ආසන්න ස්ථාන වල ෆොටෝ ගන්න යනකොට නම් මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා කලින් සොයාබැලීමක් කරන්න.

3.  පරිසරයට ඇති බැඳීම සහ අවබෝධය 

මේක ගොඩක්ම වැදගත් කරුණක්, අපි ෆොටෝ ගන්නකොට අපි යන තැන ගැන නිවැරදි අවබෝධයකින් යා යුතුමයි, එතකොට අපිට පුළුවන් අපේ වැඩේ හරියටම සාර්ථකව කරගන්න. මම මේ කරුණ ඉහත එකට එකතු නොකර වෙනම ලියන්න හේතුවත් එකමයි. පුද්ගලිකව නම් මම කරන්නේ ඒ අවට ඉන්න පුදගලයන්ගේ අහන එක සහ කලින් එම ස්ථානයේ ෆොටෝ ගත්තු කවුරුහරි ඉන්නවා නම් එයාලගෙන් විස්තර අහගන්න එකයි.

මේ කරුණ අපිට ගොඩක් වැදගත් වෙනවා අපිට අරන් යන Camera සහ අදාළ lens තොරගන්නකොට. මෙම Landscape Photography කිව්ව ගමන් හොයන්නේ Wide Lens, හැබැයි අපිට Zoom lens එකකිනුත් ගොඩාක් වැඩ ගන්න පුළුවන්.

4. Foreground / Background සහ Leading Lines

මම ෆොටෝ එකක් ගන්නකොට මම හැම විටම බලන්නේ මේ ෆොටෝ එක කොහොමද පුරවන්නේ කියලා. ඔයාලට පෙනෙයි මගේ පින්තුර බලනකොට ගොඩක් වෙලාවට ප්‍රධාන අරමුණට අමතරව ඒ හා සම්බන්ධ අනිත් කොටසුත් ෆොටෝ එක පුරා විහිදිලා ගිහින් තියෙනවා. ඒ මම හැම විටම මේ  Foreground / Background සහ Leading Lines වලට මම දෙන අවධානය වැඩි නිසා. විශේෂයෙන්ම මම Long exposure Photography වලදී ගොඩක්ම සලකා බලන කාරණයක් තමයි Foreground එක, මොකද එතකොට තමා ෆොටෝ එක වඩාත්ම ලස්සන වෙන්නේ. ඒ වගේම පින්තුරයේ විහිදී ඇති රේඛා නැතිනම් Leading lines. පහත පින්තරය බලනකොට ඔයාලට තේරෙයි මේ දේවල් නැති උනොත් පින්තුඅරය කොතරම් මාලි ස්වභාවයක් ගනීද කියලා.

5. පසු සැකසුම/Post process

ෆොටෝ එකක් ගන්නකොටම කලපනාකරගන්න ඔබ මොන වගේ සංස්කරණයක්ද මේකට භාවිතා කරන්නේ කියලා, අඩු තරමින් දළ අදහසක්වත් එම ෆොටෝ ගන්න අවස්ථාවේදී තියාගන්නවා නම් ඔයාලට පුළුවන් ලස්සන ෆොටෝ එකක් නිර්මණය කරගන්න. කලින් කිව්වා වගේම මේ හැමදේම අයිති වෙන්නේ නිවැරදි සැලසුම් කිරීමට. අපි දෙයක් කරනකොට එක ගැන අවධානය යොමුකරලා හරියට කරනකොට අපිට ලැබෙන ප්‍රතිඵලය හැමවිටම සාර්ථකයි. ඒ නිසා කැපවීමෙන් මේ දේවල් කරන්න.

ගොඩක් දෙනෙක් මගෙන් අහන අහන ප්‍රශ්නයක් තමා මොනාද use කරන software කියලා. නමුත් එහෙම විශේෂ දෙයක් නැහැ. මගේ ප්‍රධාන වශයෙන් Use කරන්නේ Adobe Photoshop සහ Lightroom සමග NIK Collection by DXO. ඊට අමතරව මම  සොන්ය් කැමරාවත් සමග නොමිලේ ලැබෙන Capture One 10 මෘදුකාංගයත් භාවිතා කරනවා.

එහෙනං මේ කරුණු ටික ගොඩක් ප්‍රමාණවත් සාර්ථකව ෆොටෝ එකක් ගන්න. පහල තියෙන comments තීරුවේ ඔයාලට පුළුවන් නිවැරදි කිරීම් සහ ඔයාලගේ අදහස් සටහන් කරන.

Anushka Eranga